සිංහල බ්ලොග් අතීතාවර්ජනය

            සිංහල බ්ලොග් කාලයක් ගොඩක් ජනප්‍රිය වෙලා තිබුන මාතෘකාවක්. බොහෝ දෙනෙක් ආසාවෙන් තමන් දන්න දේ තමන්ට හිතන දේ අනිත් අයටත් දැන ගන්න සිංහලෙන් ලියන්න පුරුදු වෙලා හිටිය. ඒත් පසුව ටිකෙන් ටික ඒ ගුණාත්මක සිංහල අන්තරගතයන් අන්තර්ජාලයට එකතු කරපු අය එයින් ඈත් උනේ සිංහල බ්ලොග් නිර්මාණත් ටිකෙන් ටික වාණිජකරණයට ලක්වීම නිසා ද කියලත් ප්‍රශ්නාර්තයක් තියෙනව.

     ඒ මොනව උනත් මගේ ප්‍රථම සිංහල ‍බ්ලොග් ලියමන 2009 අවුරුද්දෙ සිදු වෙන්නෙ හදිස්සියේම අන්තර්ජාලයේම දැක්ක තවත් සිංහල බ්ලොග් එකක් නිසා, ඒ වෙන කාගෙවත් නෙවෙයි කවුරුත් දන්න මලින්ත සහොදරයගෙ බ්ලොග් එක. හරියටම කීවොත් 2009 පෙබරවාරි මස 9 වැනි දින මගේ පළමු සිංහල බ්ලොග් ලිපිය අන්තර්ජාලයට එකතු වෙන්නෙ ඒ මලින්තගෙ බ්ලොග් එක දැකපු නිසයි.

     නොමිලේ අන්තර්ජාල ඉඩ සපයන ආයතනයක ලියාපදිංචි වෙලා තනියම WordPress එකත් ස්ථාපනය කරගෙන “evoblog.comyr.com” ලිපිනයෙන් Ev0 ගේ සටහන නමින් මුල්ම බ්ලොග් එක හදල ඉවර උනාම පුදුම සතුටක් දැනුනෙ. මුලින්ම සිංහල යතුරු ලියනය ටිකක් අමාරු උනත් පසුව අහක බලාගෙන උනත් සිංහල යතුරු ලියනය කරන්න පුරුදු උනේ සිංහල ලිපි නිසාම තමයි. ටික කාලයක් එ් බ්ලොග් එකේ සිංහල ලිපි දමමින් යාවත්කාලීන කරගෙන ඉන්න ‍කොට නොමිලේ වෙබ් අවකාශය සපයන ආයතන විසින් මගේ බ්ලොග් එක ඉවත් කරල දැක්කම තමයි තරු පෙනුනේ. ඒකෙන් ටිකක් අධෛර්මත් වෙලා හිටියත් පසුව ආයෙත් මගේම වෙබ් අවකාශයක් සමඟ ඩොමේන් නාමයක් මිලදී ගෙන “blog.ykani.info” ලිපිනයෙන් Yකණි ගේ සටහන නමින් ඊලඟ බ්ලොග් එකත් හදල කාලයක් ලිපි 40 කට ආසන්න ගණනක් ලියමින් ඉන්න අතර තුර තමයි සිංහල ‍බ්ලොග් අවකාශයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තෙ. ඒ අතරින් WordPress වලින් blog එකක් හදමු, ජංගම දුරකථනයට සිංහල දාපු හැටි, අපිත් හදමු Online Radio එකක් වගේ ලිපි ජනප්‍රිය වෙද්දි හිතට දැනුන සතුට වචනෙන් විස්තර කරන්න අමාරුයි.

     ඒ කෙ‍සේ වෙතත් බ්ලොග් අවකාශයෙන් ටිකෙන් ටික ඈත් වෙලා අයින්ම වෙලා ඉන්න කොට Deeps අක්ක Blog Friends කියල facebook සමූහ චැට් එකකට මාත් ඇඩ් කරල, බ්ලොග් වසන්තය ගැන දැනුවත් උනාම ආයෙත් ලියන්න පටන් ගන්න හිතුන නිසයි මේ ලිපිය ලියවුනේ. පරණ බ්ලොග් එක නම් දැන් නැහැ. අලුත් බ්ලොග් එකකින්,

ඔන්න අපිත් ආයේ සිංහල බ්ලොග් අවකාශයට එකතු වෙනවා !

 

5 responses to “සිංහල බ්ලොග් අතීතාවර්ජනය”

  1. ඔන්න අපේ පරණම බ්ලොග් කාරයෙක් ආපහු වැඩ පටන් අරගෙන. එල.
    සුභ පතනවා මේ ආරම්භය දිගටම ලියන්න ලැබෙන හොඳ ආරම්භයක් වෙන්න කියල.
    මමත් බ්ලොග් ලියන්න පටන්ගත්තෙ 2009දි තමා. පොඩ්ඩක් මතක් කරන්න ඕනෙ කාගෙ බ්ලොග් එකක් දැකලද කියල. මට මතක හැටියට ශාකුන්තලගෙ බ්ලොග් එකද මන්ද.
    ඒ කාලෙ සිංහල බ්ලොග් කියන අයට හිටියෙ පොඩ්ඩ දෙනයි. මලින්ත, කාලිංග, ශාකුන්තල, ඉන්ද්‍රනාම වගේ කට්ටියගෙ තමයි නම් මතකයක් තිබෙන්නෙ.

  2. Nadun says:

    සුබ පැතුම් දිගටම අයෙත් ලියන්න එහෙනම් .!!!

    මමනම් තාම 2009 ඉදන්ම ලියනවා 😀

  3. එහෙනං වසන්තය වැඩ කරන්න පටන් අරන්!

  4. erandika says:

    සුභ පතනව හදවතින්ම….උත්සහය ගොඩක් වටිනවා…දිගටම ලියන්න..

  5. Yo says:

    හැමෝටම ගොඩක් ස්තූතියි ආයෙත් දිගටම ලියන්නයි බලාපොරොත්තුව 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *