ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය – Android M

M Preview NexusGroup

         තාක්ෂණික ලෝකය ගැන උනන්දුවක් තියෙන ගොඩක් දෙනෙක් දන්නව ඇති Google සමාගම විසින් වාර්ෂිකව පවත්වන සමුළුවකින් එයාලගෙ නවතම උපාංග සහ සේවාවන් හඳුන්වා දෙනව කියල. ඒ අනුව මේ අවුරුද්දෙත් ඔවුන්ගේ Google I/O 2015, සැන් ෆ්‍රැන්සිස්කෝ හීදි පැවැත්වුවා. එහිදි Google සමාගමේ නිශ්පාදන අංශයේ ජේශ්ඨ උප සභාපති විසින් අපි ගොඩක් දෙනෙක් බලන් හිටපු ඇනඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරනයේ developer preview එක හඳුන්වා දුන් අතර ඔහු පැවසුවේ ඔවුන් නැවතත් මූලික කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

දැනට පවතින ඇන්ඩ්‍රොයිඩ් Lolipop සංස්කරණයෙන් නවතම සැලසුම් සමග නිර්මාණාත්මක බවක් ලබාදුන්නත් අපි ගොඩක් දෙනෙක් අත්විඳල තියෙනව එහි දෝශ ඇති බවට. ඉතින් නවතම Android M සංස්කරණයෙන් බලපු ගමන් විශාල වෙනසක් දකින්න බැරි උනත් ඔවුන් විසින් පැවති දෝශ මග හරවා අළුත් විශේෂාංග කිහිපයක්ද එකතු කරමින් වැඩිදියුණු කරලයි හඳුන්වා දී තියෙන්නෙ. මෙම Android M developer preview එක ඔයාලට Nexus 5, Nexus 6, Nexus 9 සහ Nexus Player යන උපකරණ වලට දාගෙන බැලීමට හැකියාවක් තියෙනව.

App permissions

නවතම සංස්කරණයෙන් ඔබ පාවිච්චි කරන යෙදුම වලට තමන්ට ගැලපෙන ලෙසට තනි තනි ‍ලෙස අවසර දීමට හෝ අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් ලබා දී තිබෙනවා වගේම යම්කිසි විශේෂාංගයක් භාවිතා කරන ප්‍රථම අවස්ථාවේදී යෙදුම මගින් අවසර ඉල්ලීමට සකසා තිබීම බොහෝ දෙනෙක්ට ඉතා හොඳ ආරංචියක් වේවි. ඒ අනුව ඔබ යම්කිසි යෙදුමක් ස්ථාපනය කරන විට ඔබට අනවශ්‍ය දෙයක් තිබුනොත් එයට අවසර නොදී එම යෙදුම ස්ථාපනය කිරීමට හැකියාව ලැබෙනවා.

උදාහරණයක් විදියට ඔබ WhatsApp යෙදුම භාවිතා කරනව කියල සිතන්න. එහිදි ඔබ ප්‍රථම වතාවට මයික්‍රෆෝනය පාවිච්චි කිරීමට යන විට යෙදුම මගින් ඔබගේ ජංගම දුරකථනයේ MIC එක භාවිතා කිරීමට අවසර ලබාදිය යුතු බව මතක් කර සිටීවි. මම හිතනව මෙම විශේෂාංගය ගොඩක් දෙනක් බලාගෙන හිටපු එකක් කියල 😉 Android M සංස්කරණය පරිශීලකයන්ට වැඩි පාලනයක් දෙනව ඔවුන් ස්ථාපනය කරන යෙදුම් වලට තමන්ට කැමති විදියට අවසර ලබා දීමට. එය ඉදිරියේ Android තවත් ජනප්‍රිය වීමට හේතුවක් වේවි කියලයි මට හිතෙන්නෙ.

ඒ වගේම ඔබ ලබා දුන් අවසරයන් ඔබට නැවතත් වෙනස් කිරීමටද හැකියාවක් ලබා දී තිබීම තවත් ‍වි‍ශේෂ විශේෂාංගයක්.

Chrome Custom Tabs

නවතම සංස්කරණයේ තවත් විශේෂාංගයක් තමයි Chrome Custom Tabs. මේ මගින් යම්කිසි යෙදුමක් සහ වෙබ් අඩවියක් අතර සම්බන්ඳතාවක් ඇති කිරීමට විශේෂ අවස්ථාවක් දීල තියෙනව. Chrome Custom Tabs මගින් අවස්ථාවක් දීල තියෙනව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යෙදුමක් උඩින් අලුතෙන් Chrome ක්‍රියාත්මක නොකර Chrome Window එකක් ක්‍රියාත්මක කිරීමට. මේ ක්‍රමය මගින් ඉතා වේගවත් පරිශීලන අත්දැකීමක් ලබා දීමට හැකි වේවි.

Fingerprint support

Android M සංස්කරණය මගින් ඇඟිලි සලකුණු ස්කැනර් සහයෝගය ප්‍රමිතිකරණයට ලක් කරල තියෙනව. ඒ මගින් ඔබේ ජංගම දුරකථන අන්ලොක් කිරීම පමණක් නොවෙයි සැබෑ ජීවිතයේ සාප්පු සවාරි යන අතරතුර හෝ Play store එකේ යම් කිසි මිලදී ගැනීමක් කිරීමටද යොදා ගැනීමට හැකියාවක් ඇති බවයි ඔවුන් පවසන්නේ.

Mobile payments

Android Pay කියන්නෙ Google සමාගම විසින් හඳුන්වා දීපු නවතම ‍mobile payments system එක. ඔවුන් පවසන පරිදි ඉතාමත් වේගයෙන් මේ මගින් ගෙවීම් කිරීමට හැකියාවත් තිබෙන බවයි. ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට් සංස්කරණයේ සිට ඉහලට ඇති සංස්කරණ තිබෙන සහ NFC තාක්ෂණය තිබෙන ඕනෑම ජංගම දුරකථනයකින් මෙම Android Pay සේවාව ලබා ගත හැකි වන අතර ඇඟිලි සලකුණ යෙදා ගෙවීම් කිරීමට නම් Android M සංස්කරණය අවශ්‍ය වනවා.

App links

හිතන්න ඔබට Email එකක් මගින් Twitter URL එකක් ලැබෙනව කියල. එය ටච් කල විට ඔබෙන් අහනව නේද එය ඕපන් කල යුතු යෙදුම මොකක්ද කියල? නැති නම් Twitter යෙදුම තිබුනත් Chrome මගින් එය ඔපන් වෙනව ඔබ අත් විඳල ඇති. App links මගින් ඔබ Twitter URL එකක් ටච් කල විට කෙලින්ම ඔබේ Twitter යෙදුම ක්‍රියාත්මක වෙනව. Youtube උනත් ඒ වගේමයි. මේ විශේෂාංගය අපට අපේ ස්මාට් ජංගම දුරකථනය භාවිතය තවත් පහසු කරවි.

Power and charging

Android M සංස්කරණ විසින් Doze නමින් නව ක්‍රමයක් භාවිතා කරනව ජංගම දුරකතනයේ බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීම සඳහා. එය සිදු වන්නෙ මෙහෙමයි. ඔබ් ස්මාට් ජංගම දුරකථනයේ තිබෙන motion detectors මඟින් Android විසින් හඳුනා ගන්නව ඔබේ ජංගම දුරකථනය කිසිඳු කටයුත්තක් නොකර නිකන් තිබෙන බවට. එවිට දුරකථනයේ පසුබිම් ක්‍රියාවලියන් අඩු කර ඔබේ බැටරියේ ආයු කාලය වැඩි කර දෙනවා.

ඒ වගේම Android M සංස්කරණය USB Type-C සඳහා සහය දක්වනවා. එමගින් ඔබේ දුරකථනය ඉතා ඉක්මනින් චාජ් කිරීමටත් දුරකතනය මගින් ඔබේ වෙනත් උපකරණ චාජ් කිරීමටත් අවස්ථාව උදා වෙනව.

Improved Google Now

මේ තවත් විශේෂාංගයක් මේ මගින් දැනට තිබෙන Google Now යෙදුම වැඩි දියුණු කරල ඉතා උසස් අත්දැකීමක් පරිශීලකයන්ට ලබා දීමට Google සමාගම කටයුතු කරල තියෙනව. ඔවුන් පවසන පරිදි ස්මාට් ජංගම දුරකථනය තවත් ස්මාට් විය යුතු බවයි. ඒත් වෙලාවකට මට හිතෙනව මෙම තාක්ෂණික යෙදුම් මිනිසාගේ හැකියාවන් අඩු කරල මතක ශක්තිය අඩු කරල ඉලෙක්ට්‍රොණික උපකරණයක් මත යැපෙන මිනිසෙක් නිර්මාණය කරනවද කියලත්. ඒක ප්‍රශ්ණාර්ථයක්.

Google Photos

මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙවි. ඔයාලගේ Photos Organize කරන්න Backup කරන්න යෙදුමක්. මේ මගින් ඔයාලට Unlimited space එකක් නොමිලේ හමුවෙනව ඔයා‍ලගෙ ෆොටෝ සහ වීඩියෝ backup කර ගන්න. ‍Photos නම් 16M දක්වාත් Videos නම් 1080p දක්වාත් ඔයාලගේ සුපිරි තත්වයේ Photos සහ Videos backup කරල තියා ගන්න පුලුවන්. දැනටමත් Play store එකේ තියෙන මේ යෙදුම ඔයාලට පාවිච්චි කරල බලන්න පුලුවන්. ඒ වගේමයි මෙය iOS සඳහාද නිකුත් කරල තියෙනව ඒක iPhone භාවිතා කරන අයට හොඳ ආරංචියක් වේවි.

කොහොම හරි Android M අවසාන ස්ථාවර සංස්කරණය මේ අවුරුද්දේ තුන්වන කාර්තුව අවසාන වෙද්දි ‍එනව කියල තමයි කියන්නේ. එතකම් කලින් කීව වගේ developer preview එක  Nexus 5, Nexus 6, Nexus 9 සහ Nexus Player යන උපකරණ වලට දාගෙන බැලීමට හැකියාවක් තියෙනව.

3 responses to “ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය – Android M”

  1. Kusal says:

    හොද පසුවිමරුමක් කනියෝ

  2. Sun™ says:

    එලකිරි මචන්.. (Y)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *